ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයෙන් සංශෝධනය කර ඇති පරිදි සිංහල හා දෙමළ භාෂා රාජ්‍ය භාෂා ලෙස ද ඉංග‍්‍රීසි භාෂාව සන්ධාන භාෂාව ලෙස ද නිර්වචනය කර දැක්වේ. මේ හැරුණු විට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව සිංහල හා දෙමළ භාෂා ශ‍්‍රී ලංකාවේ ජාතික භාෂා ලෙස ද දැක්වේ. රටේ ඕනෑම පුරවැසියෙකුට ඉහත සඳහන් භාෂා තුනෙන් කවර හෝ භාෂාවකින් රජයේ ආයතන සමග කටයුතු කිරීමේ අයිතිය ඇත. කෙසේ වුවද, රජයේ සේවකයන්ට දෙවන හා තෙවන භාෂා පිළිබඳ ප‍්‍රවීණතාවයක් නොමැති භෙයින් රජයට භාෂා තුනෙන්ම මහජනතාවට සේවය සැපයීම කළ නොහැකිය. දෙමළ භාෂාව සිංහල කථාකරන රජයේ සේවකයන් ගේ දෙවන භාෂාව වන අතර දෙමළ කථා කරන රජයේ සේවකයන්ගේ දෙවන භාෂාව සිංහල භාෂාවය. මහජනතාවට රජයේ ආයතන සමග සන්නිවේදන කටයුතු කළ හැකි තෙවැනි භාෂාව වන්නේ ඉංග‍්‍රීසි භාෂාවය. රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තියට ප‍්‍රධාන වශයෙන් ඇතුළත් වන්නේ මෙම කරුණුය.

   රාජ්‍ය භාෂා කොමිෂන් සභාව 1991 අංක 18 දරන පනතින් ස්ථාපනය කරන ලද ව්‍යවස්ථාපිත ආයතනයක් වන අතර එයට පැවරී ඇති අනෙකුත් කාර්යයන් අතර රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීමේ බලය ද පැවරී ඇත.

 
     
 
පරමාර්ථ
 
     පරමාර්ථ පනතේ 6 වන වගන්තියේ සඳහන් වී ඇත. රාජ්‍ය භාෂා භාවිතය පිළිබඳ අදාළ ප‍්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඇති ප‍්‍රතිපත්ති නිර්දේශ කිරීම සහ රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තිය පිළිබඳව සඳහන් වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ iv වන පරිච්ජේදයේ ඇතුළත් විධි විධාන වලට අනුකුලව කටයුතු කිරීම අධීක්ෂණය හා නිරීක්ෂණය කිරීම රාජ්‍ය භාෂා කොමිෂන් සභාවට අයත්වන කාර්යයකි. රාජ්‍ය භාෂා නිසිපරිදි භාවිතා කරන බවට වග බලා ගැනීම සඳහා අවශ්‍ය වන පරිදි සියලු ක‍්‍රියා මාර්ග සහ පියවරවල් ගැනීම ද රාජ්‍ය භාෂා කොමිෂන් සභාව විසින් කළ හැකි වේ. පනතේ විධි විධාන පරිදි රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තියට අනුකූලව කටයුතු නොකිරීම පිළිබඳව විමර්ශනයක් කිරීම මෙම කොමිෂන් සභාව සතුව පවතින තවත් පරමාර්ථයකි. අදාළ භාෂා භාවිතා කිරීම හෝ එම භාෂා පිළිබඳ තත්ත්වය සම්බන්ධයෙන් පොදු අධ්‍යාපන කටයුතුවල නිරතවීමට ඇති බලය ද කොමිෂන් සභාව සතුව පවතී.  
     
 
ප‍්‍රධාන කාර්යයන්
 
 
ප‍්‍රධාන කාර්යයන් හතරක් කොමිෂන් සභාව සතුව පවතී.
 
 
ප‍්‍රතිපත්තිමය කරුණු පිළිබඳ උපදෙස් ලබා දීම.
භාෂාව භාවිතා කිරීම පිළිබඳව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන වලට අනුකූලව රාජ්‍ය යාන්ත‍්‍රණය විසින් නිසි පරිදි කටයුතු කිරීම සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීම.
අදාළ භාෂා භාවිතා කිරීම හෝ එම භාෂා පිළිබඳ තත්ත්වය සම්බන්ධයෙන් අධ්‍යාපන කටයුතු මෙභෙයවීම .
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන භාෂා අයිතීන් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඇති පැමිණිලි විමර්ශනය කිරීම .
 
     
     
 
අපගේ දැක්ම
 
 

   රාජ්‍ය භාෂා සහ සංධාන භාෂාව භාවිතා කිරිම පිළිබඳව රජය විසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධි විධානවලට අනුකූලව කටයුතු කරනු ලබන බව අධීක්ෂණය කිරීම හා නිරීක්ෂණය කිරීම ද එකී විධි විධානවලට අනුකුලව කටයුතු කරන බවට වගබලා ගැනීම පිණිස අවශ්‍ය ක‍්‍රියා මාර්ග ගැනීම සම්බන්ධයෙන් රජයට උපදේස දීම ද එසේ අනුකූලව කටයුතු කිරීම ඕනෑකමින් වළක්වාලන හෝ ඊට පටහැනිව කටයුතු කරන අවස්ථාවක දී එයට වගකිවයුතු තැනැත්තන්ට එරෙහිව දඩුවම් පැමිණිවීමට කටයුතු කිරීම ද කොමිෂන් සභාව සතුව පවතින පැවරුම් බලයකි. භාෂා අයිතීන් උල්ලංඝනය කර ඇති බවට චෝදනා කරමින් තමන්ට සහනයක් සලසා දෙන ලෙස ඉල්ලමින් රට වැසියන් විසින් ඉදිරිපත් කරනු ලබන පැමිණිලි භාරගෙන ඒවා විමර්ශනය කිරීමේ බලය ද කොමිෂන් සභාව සතු වේ.

   මෙම අයිතීන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන මාලාවක ද නීති ප‍්‍රඥප්ති වල ද අන්තර්ගත වී ඇත. 1978 වර්ෂයේ අගෝස්තු මාසයේ දී සිංහල සහ දෙමළ භාෂා ජාතික භාෂා ලෙස ප‍්‍රකාශයට පත් කරන ලදී. 1987 නොවැම්බර් මාසයේ දී සම්මත කර ගන්නා ලද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය මගින් 1956 වර්ෂයේ සිට හුදෙක් රාජ්‍ය භාෂාව ලෙස පැවැති සිංහල භාෂාවට අමතරව දෙමළ භාෂාව ද රාජ්‍ය භාෂාවක් ලෙස ප‍්‍රකාශයට පත් කරන ලදී. මෙම සංශෝධනය මගින් සංධාන භාෂාවක් ලෙස ඉංග‍්‍රීසි භාෂාව භාවිතා කිරීමට ද අනුමැතිය ලබා දෙන ලදී. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 16 වන සංශෝධනය මගින් ව්‍යස්ථාවේ සඳහන් වන භාෂාව පිළිබඳ iv පරිච්ජේදය යටතේ තවදුරටත් නිර්වචනය කිරීම් සහ විස්තර ඉදිරිපත් කරන ලදී.

   මේ සම්බන්ධයෙන් ඇති අනෙකුත් කරුණු අතර මෙම විධි විධාන මගින් දුකුණේ පළාත් හතක පරිපාලන හා වාර්තා තැබීමේ භාෂාව වශයෙන් සිංහල භාෂාව භාවිතා කළ යුතු බව නියම කරන ලද අතර උතුරු හා නැගෙනහිර පළාත්වල ද දෙමළ භාෂාවට එම තත්ත්වය ලබා දෙන ලදී. සිංහල භාෂාව හා දෙමළ භාෂාව කථා කරන සැලකිය යුතු පිරිසක් වෙසෙන දිවයිනේ කවර හෝ ප‍්‍රදේශයක තිබෙන පරිපාලන කොට්ඨාශයක් පරිපාලන හා වාර්තා තැබීමේ භාෂාව වශයෙන් සිංහල භාෂාව සහ දෙමළ භාෂාව භාවිතා කළ යුතු කොට්ඨාශයක් වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීමට දැනට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් විධි විධානයන් සලසා ඇත. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 22 (1) ව්‍යවස්ථාව ප‍්‍රකාරව පැවරී ඇති බලතල අනුව අති විශේෂ ගැසැට් පත‍්‍රයේ පළකරනු ලැබු නිවේදන මගින් සිංහල භාෂාව සහ දෙමළ භාෂාව ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 29 ක පරිපාලන භාෂාව වශයෙන් භාවිතා කළ යුතු බවට ජනාධිපතිවරයා නියෝග කර ඇත.